දිරිගන්වන්නන්....

10 December 2012

සඳ තවම ආදරෙයි.......





හිරූ... අපි කවදද හිරූ එක වහලක් යටට වෙන්නෙ?

හ්ම්ම්ම්ම්ම්........ 

ඇයි හිරූ මම මේ ප්‍රශ්නෙ අහන හැම වෙලාවකම ඔයාගෙන් උත්තරයක් නැත්තෙ?දැන් කොච්චර කාලයක් නම් වෙනවද?

අනේ මන්දා සඳූ.....

අනේ ඇයි දැන් ඔහොම කථා කරන්නේ?මාව පෘථිවිට අයිතිවෙන්න දීලා දැන් ඔයා බලාගෙන ඉන්නවද?

පෘථිවියි මායි අතර කොච්චර වෙනසක් තියෙනවද සඳූ... ඔයාට ගැලපෙන්නෙ පෘථිවි තමයි...මාව නෙවෙයි...

මාව වෙන කාටවත්ම හීනෙන් වත් අයිතිවෙන්න දෙන්නෙ නැහැ කියපු ඔයාගෙ කටින්මද හිරූ මේ දෙවල් කියවෙන්නෙ...... ඇයි මට මේ තරමටම ගින්දර දෙන්නෙ?

මම ඔයාට කොයිතරමට ආදරේ කලත් මට කවදාවත්ම ඔයාව අයිතිකරගන්න බැරිබව මම දැනගෙන උන්නා සඳූ.... මට සමාවෙන්න..... මම තාමත් ඔයාට ආදරෙයි සඳූ...ඒක මම මැරෙනකන්ම වෙනස් වෙන්නෙ නැහැ....

එහෙමනම් ඇයි ඔයාට මාව ඔයාගෙ ළඟට ගන්න බැරි..... පෘථිවිත් එක්ක ගිහින් මගෙ ජීවිතේ විනාශ වෙලා යනවා දකින්නද ඔයාට දැන් ඕනා.....?

පෘථිවි ඔයාව මට වඩා සතුටින් තියයි..... මම කැමති නැහැ ඔයා මගෙත් එක්ක ඇවිත් දුක්විඳිනවා දකින්න...

සතුට... මගෙ සතුට තියෙන්නෙ ඔයාගේ ළඟ හිරූ... ඒක කවදාවත්ම වෙනස් වෙන්නෙ නැහැ.ඇයි ඒක තේරුම් නොගන්නෙ?ඔයා මෙහෙම වෙනස් වෙන්නෙ තරූ නිසාද?

මම තවදාවත්ම තරූට ආදරේ කලේත් නැහැ.දැන් කරන්නෙත් නැහැ.කරන්න ඕනෙත් නැහැ.ඒක නිසා තරූව මේකට පටලවගන්න එපා.....මේක මගේ තීරණයක්.....

නපුරා... ඔයා දැන් හොඳටම නපුරු වෙලා....

ඔව් සඳූ.... මම නපුරුයි.... හැමෝටම දැන්මාව නපුරුවෙලා....ලෝකේ ඉන්න දරුණුම නපුරුම කෙනා මම.... ඒකයි මම කිව්වෙ ඔයාට මාව ගැලපෙන්නෙ නැහැ කියලා.... තේරුම් ගන්න.....

දැන් කව්ද කියන්නෙ මට ඔයාව ගැලපෙන්නෙ නැහැ කියලා?

මම දන්නෑ....

ඔයා නොදන්නවා නම් කව්ද හිරූ දන්නෙ? ඔයා දැන් මොනවද දන්නෙ?

මම දන්නෑ.... ඒත් මම දන්නවා මම ඔයාට ආදරෙයි කියලා....

එතකොට මම ඔයාට ආදරේ නැහැ? මගේ ආදරේ තේරෙන්නෙත් නැහැ.එහෙමද?

මම එහෙම කිව්වෙ නැහැනෙ....

එහෙමනම් මොකද්ද හිරූ මේකෙ තේරුම?මම දැන් මොනවද කරන්න ඕනා....ඔයාව අමතක කරන එකද?

ඔව්.....

අන්තිම තීරණයද ඒ ඔයාගෙ?

ඔව්...

වෙනස් වෙන්නෙම නැද්ද?

නැහැ....

කවදාවත්ම?

ඔව්.....

මම දන්නවා කෙනෙක්ගෙ ආදරයක් බලෙන් ලබාගන්න බැහැ කියලා... මම ඔයාගේ මේ තීරණයට අකමැත්තෙන් උනත් කැමති වෙන්නම්... ඒ ඔයාගෙ සතුට වෙනුවෙන්... නැතුව මම ඔයාට ආදරේ නැතුවවත් ඔයාව අමතක කරන්න පුළුවන් නිසාවත් නෙවෙයි.... මම පෘථිවිත් එක්ක යයි.ඒත් මම මැරෙනකන්ම මගේ හිතේ ඉන්නෙ ඔයා.... මගේ කුළුඳුල් වගේම අවසාන ආදරයත් ඔයා... මම ජීවත් උනොත් ඒ ජීවත් වෙන්නෙත් ඔයා නිසා... ඒකත් මතක තියාගන්න...... මම යන්නම්..... යන්නම යන්නම්.... ඔයා සතුටින් ඉන්න.....

ඔයත් සතුටින් ඉන්න.....


6 comments:

  1. අපූරු නිර්මාණයක්.. ජය!

    ReplyDelete
    Replies
    1. හිතට හිතුනු දේවල් අකුරු කලා... බොහෝම ස්තූතියි සහෝ....

      Delete
  2. //මම ඔයාට කොයිතරමට ආදරේ කලත් මට කවදාවත්ම ඔයාව අයිතිකරගන්න බැරිබව මම දැනගෙන උන්නා සඳූ//
    ආදරෙ කියන්නෙ අයිති කරගැනීමමයි කියල මං කියන්නෙ නෑ. ඒත් මේ ආදරය නිසා අන්තිමට උරුම වෙන්නෙ දුක කියල හොඳටම දැන දැන, කවදාවත් ඒ කෙනා එක්ක විවහ වෙන්නෙ බෑ කියල දැන දැන ආදරය කරල අන්තිමට...
    //පෘථිවි ඔයාව මට වඩා සතුටින් තියයි..... මම කැමති නැහැ ඔයා මගෙත් එක්ක ඇවිත් දුක්විඳිනවා දකින්න// කියල කියුවම, එයාව විශ්වාස කරල ආදරය කරපු ගෑණු ළමය කොයිතරම් අසරණ වෙනවද. ඒ වගේම අන්තිමේදි එක්කෙනෙක් දෙන්නෙක්ගෙ නෙවෙයි හතර දෙනෙක්ගෙම ජීවිත මේ නිසා අවුල් වෙන්න පුලුවන්. මේ වගේ හේතු නිසා ආදරය වගේ දෙයකදි හදවතට විතරක් නෙවෙයි බුද්ධියටත් තැනක් දෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ.

    කතාව අන්තිමට මතක් උනේ
    ""එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ" කියන පද ටික...

    කතාව ලස්සනට ලියල තියෙනව පුංචි කොලු :)
    ජය!

    ReplyDelete
    Replies
    1. කතාව ලස්සනද කියලනම් දන්නෙ නැතෝ...මේ පැත්තෙ ඇවිල්ලා අදහස් ප්‍රකාශ කලාට ගොඩාක් ස්තූතියි චමෝ.....

      මාත් ඔයා කියන අදහස් වලට එකඟයි.ආදරය විවිධාකාරයි.දුක සතුට කඳුළු මේ හැම දෙයක්ම පිරුණු දෙයක්...එත් ආදරය කියන්නෙ.....

      ප්‍රේමය ලොව හැම තැනම ඇතී
      හැම දෙනටම හමුවෙලා ඇතී
      එනමුදු ප්‍රේමය කිමැයි කියා
      හඳුනාගත් කිසිකෙනෙකු නැතී.....

      Delete
  3. ආදරය ගැන ආදරේ හිතෙන නිර්මාණයක් දිගටම ලියන්න
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයාවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඕං...
      ඉස්පාසුවක් තියෙන වෙලාවකට මේ පැත්තට ඇවිල්ලා වචනයක් එහෙම දොඩල යන්න ආවනම්.....

      Delete