දිරිගන්වන්නන්....

20 February 2013

පණ නළ සොයා.... Searching for breath....

පණ නළ සොයා......
       ජීවිතය ජීවත් කරවීමට......




***********************************************************************************


දන්නවද අපි දැන් ඉන්නෙ අත්ලාන්තික් මුහුදට උඩින් අඩි 35000ක් ඉහල අහසෙ...අපිට ගමනාන්තයට ළඟාවෙන්න තව පැය 03ක් විතර තියෙනවා....”
“ඔබට හොඳට ගුවන් ගමන් පුරුදුයි වගේ....මම නම් බොහෝම අල්ප වතාවයි ගුවනින් ගිහින් තියෙන්නෙ....”

********************************************** 

 “මම මේ වෘත්තියෙන් ලොකු තෘප්තියක් ලබනවා...ඒක නිසා අවධානමක් ගන්න මම පැකිලෙන්නෙ නැහැ...දන්නවද මම පොඩි කාලෙ ඉඳන් බොහොම කැමැත්තෙන් ඉඳියෙ හමුදාවට බැඳිලා සටන්වලට යන්න...”
“ඉතිං ඇයි මේ වගේ වෘත්තියකට යොමුවුනේ....?”

*********************************************

 “කව්ද හිතුවෙ අපිට මෙහෙම දෙයක් වෙයි කියලා... දැන් අපි මොකද කරන්නෙ......”
“ජීවත් වෙනවා...අවසාන අරමුණට යනතුරු නොමැරී ජීවත් වෙනවා...”

 ********************************************

“ඔන්න තවත් රැල්ලක්.....”
“හබල් ගාන්න..... හබල් ගාන්න..... පුළුවන් තරම් හයියෙන් හබල් ගාන්න......”

 ********************************************

“මම කැමති නැහැ මේ වගේ තැනකදි මගේ අන්තිම කැමැත්ත කියන්න...මට ඕනා ජීවත් වෙන්න....”
“මම ඔබට මැරෙන්න දෙන්නෙත් නැහැ...කොහොමහරි ඔබව ජීවත් කරනවා...”

 ********************************************

“දෙයියනේ භූමි කම්පාවක්....අපි ඉවරයි...”
දුවන්න...දුවන්න...වෙරළට දුවන්න....”

 ********************************************

“මිනී මෝරු... ඒ මිනී මෝරු......”
“කලබල වෙන්න එපා....මගේ ළඟින්ම එන්න....”

 ********************************************

“හිතාගන්නවත් බැහැ ඔබ වගේ කෙනෙක් මෙහෙම කළා කිව්වහම....”
“ඇයි මම ඒ තරමටම අමුතු කෙනෙක්ද....?”

***********************************************************************************



පණ නළ සොයා.....

 පුංචි කොලූගේ බ්ලොග් පිටුවෙන් බ්ලොග් සහෘදයන්ට ළඟදීම කියවා රසවිඳින්න ලැබෙන කොටස් වශයෙන් පළවන අළුත්ම නව කථාව...




19 February 2013

ජීවිතයට ආදරෙන්.....( 03 කොටස )










“අම්මේ.......” හංසි ගෙට ගොඩවූයේ අම්මා පෙනෙන්නට නොසිටි හෙයින් අම්මා කොහේදැයි බැලීමට උස්හඩින් අමතමිනි.

කුස්සියට වී රාත්‍රී ආහාරය සඳහා ගැටපොලොස් මාළුවක් හදමින් සිටි අම්මා සාලයට දුව ආවේ කලබලයෙන් මෙනි.

“ඇයි දුවේ.....”

“නිකං අනේ....මොකද මේ බයවෙලා....”

 “ඒක මිසක්....මම බයවුනු තරමක්...අනික අද වේලාසනින්....ඒකයි මම මේ බයවෙලා දුවගෙන ආවෙ...”
“අනේ අම්මව බය කරන්න නෙවෙයි දෙයියනේ කෑ ගහගෙන ආවේ...ගෙට එනකොට පේන්න හිටිය නැති නිසයිනෙ මම කථා කළේ.....අනේ දැන් සොරි කිව්වනෙ.....කෝ ඉතිං දැන් හිනාවෙන්නකෝ....” හංසි කිව්වේ අම්මවත් බදාගෙනය.

“මොකද අද මේ වෙලා තියෙන්නෙ....”

“මොනවක් වත් නෑ අනේ.....”

“අනේ මන්දා......අද වේලාසනින්.....”අම්මා ඇසුවේ කෙල්ලගේ හිස අතගාන ගමන්ය.

“අද උදේ වැඩට යන්න කම්මැලි හිතුනා...හංදියට ඇවිත් ඉන්න කියලා දුන්නා කොල්ලට කෝල් එකක්...වටයක් ගහලා දවල්ටත් කාලා වේලාසනින් ගෙදර ආවා....දැන් මොකද්ද කියන්නකො බලන්න ප්‍රශ්නෙ...”කෙල්ල අම්මාගෙන් අසන්නේ සිනහ වෙමිනි.

“ඔය කියපු ටික වෙන කාටහරි කිව්වනම් යස අගේට පිළිගනියි...ඒත් රත්තරනේ උඹව අවුරුදු 22ක් තිස්සේ ඇස් දෙක වගේ පිරිස්සම් කරගත්ත මේ අම්මා ඔය දේවලි පිළිගන්නෙ නෑ....මම මගේ රත්තරං ගැන දන්නවනෙ.....”කියා අවසන් වන විට දෑස් අගට කඳුළු බිඳු දෙකක් නැගී තිබුණි.

“අනේ ඇයි අනේ මේ අඬන්නෙ....මම විහිළුවක්නෙ කලේ...මයෙ අම්මව දාලා මේ සුදු දුව කාත් එක්ක කොහේ කියලා යන්නද...මම හැමදාම අම්මගෙ ළඟටම වෙලා මේ විදිහට තුරුළු වෙලාම ඉන්නවා.....”යැයි කියමින් අම්මාගේ ළමැදට තවත් තුරුළු වූවාය.

“ඒත් මයෙ රත්තරනේ කවද හරි දවසක මේ අම්මව තනිකරලා දාලා හොඳ මහත්තයෙක් එක්ක යන්නම වෙනවනෙ....හැමදාම මයෙ තුරුල්ලෙම ඉන්න බැහැනෙ.....”

“හරි හරි දැන් ඉතිං ඔය කථාව නතර කරන්නකො.....එව්වට තව කල් තියෙනවා....අනික මම බඳිනවානම් බඳින්නෙ අම්මවයි මාවයි දෙන්නවම ආදරෙන් බලාගන්න හොඳ මහත්තයෙක්ව...තේරුනාද....?”

“‍‍තේරුනා.. තේරුනා....දැන් යන්න ගිහින් මූණ කට හෝදගෙන එන්න.මම තේ එකක් හදන්නද....? නැත්නම් පැෂන් හදන්නද.....?”

“පැෂන් හොඳයි....හෙට පෝයනෙ.. අනික දැන් සීසන් එකත් ඉවරයිනෙ..ඒක නිසා සර් හැමෝටම අද වේලාසනින් යන්න දුන්නා....ඒකයි වේලාසනින් එන්න පුළුවන් උනේ.....”

“මොනව උනත් මනුස්සකම් දන්න හොඳ දරුවෙක් වෙන්න ඕනා....නැත්නම් බලන්නෙ තමන් යටතේ ඉන්න අයගෙන් පුළුවන් තරම් මරෝ මරෝ වැඩ ගන්නනෙ....”

අම්මා කියන්නේ සම්පූර්ණ ඇත්ත බව කෙල්ල දනී.කෙල්ලට නිතතින්ම දහවල් වූ කථාබහ සිහියට නැගුණි.

“අම්මේ....හෙට කළුතර බෝධි යන්.....”

“යන්න නම් මමත් ආසයි දරුවෝ...කොයි කාලෙක ඉඳන්ද යන්න බලාගෙන ඉන්නේ....එත් මේ අමාරුත් එක්ක යන්න ලැබුනද...නැහැනෙ....කමක් නැහැ... අපි හෙට යමු...මොකෝ එක පාරටම යන්න හිතුනෙ....?”

“අපිට බස්වල යන්න ඕන වෙන්නෙ නැහැනෙ...වාහනේකනෙ යන්නෙ...”කෙල්ල මේ හදන්නේ දහවල් සිදුවූ දේ අම්මාට පැවසීමට වටින් ගොඩින් පාර සකසා ගැනීමටය.කෙල්ලන් එහෙමය.

“අපි කොහෙන්ද දුවේ වාහනේක යන්නෙ...අනික ත්‍රීවීල් එකක ගියත් කී දාහක් නම් ඉල්ලයිද දන්නෙ නැහැනෙ.....”

“දැන් ඒ පාර කව්ද කිව්වෙ ත්‍රී විල් වල යනවා කියලා....”

“කියන එකක් තේරෙන්න කියන්න ළමයෝ...ඇයි වැඩකරන තැන ළමයි ටික වාහනයක් කථා කරගෙන යනවා කිව්වද....?”

“පොඩ්ඩක් ඉන්නකෝ මම කියනකන්...කළුතරත් අළුතින් දාපු අපේ බුක්ෂොප් බ්‍රාන්ච් එකක් තියෙනවනෙ.එක ඇතුල ආයෙත් අළුතින් ඩිසයින් කරනවලු.මේ ‍ෂොප් එකේ ඩිසයින් කෙරුවෙ මමනෙ.ඒක සර්ගෙ හිතට අල්ලලා.ඉතිං මට කිව්වා කළුතර එකේ ඩිසයින් එකත් කරන්න කියලා.ඉතිං ඒකට හෙට සර්ත් එක්ක කළුතර යන්න වෙනවා.සර් කිව්වා අම්මගෙන් අහලා තනියම එන්න බයනම් අම්මවවත් එක්ක ගෙනම එන්න කියලා.ඒකයි....” කෙල්ල හුස්මවත් නොගෙන එක හුස්මටම කියාගෙන ගියාය.ඇය හිත හිතා හිටියේ මෙය අම්මාට කෙසේ පවසනවාද යනුවෙනි.දැන් ඒ බරද නිදහස්ය.

“එහෙම යන්න පුළුවන් නම් මාත් ආසයි....එත් ඒ දරුවා කැමති වෙයිද ඔය වැඩ රාජකාරිවලට ගිහිල්ලා බෝධිත් යන්න....?”

“කැමති නිසා තමයිනෙ අම්මෙ එන්න කියන්න ඇත්තෙ...මාත් ඇහුවා...අම්මා සිල් ගන්න කැමතිනම් ලෑස්ති වෙලාම එන්න කිව්වා..කොහොමත් බුක්ෂොප් එකේ වැඩේට දවසම වගේම ගතවෙනවත් එක්කනෙ....”

“අනේ එහෙමනම් කොච්චර දෙයක්ද?දුව පොඩි කාලෙ අපි තුන්දෙනත් එක්ක පෝය දවසක බෝධියට වෙලා දවසක්ම ගතකරලා ආවා...මතකද?එත් දූලගෙ තාත්තා අපිව තනිකරලා මේ ලෝකෙන් ගියාට පස්සෙ එහෙම ගියෙම නැහැ...”අම්මා කියන්නේ තෙත්ව ගිය දෙනෙතකින් යුතුවය.

“තාත්තා අපිව දාලා ගියේ නැහැ අම්මෙ..එයා තාමත් අපි ළඟම ඉන්නවා....”කෙල්ලගේ ඇස් වලද කඳුළුය.ඇය මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කලේ මේ දෙන්නාටය.එත් ඇය සාමාන්‍ය පෙළ කරන අවධියේදී ඇයවත් අම්මාවත් තනිකර දමා තාත්තා මිය ගියේ හදිසි හෘදයාබාධයකිනි.ඒ සිදුවීම සිදුවී වසර ගණනාවක් ගතවී ඇතත් ඒ දවස් මතකයට නැගෙන්නෙ අද ඊයේ සිදුවූවා වාගේය.

“තාත්තා ජීවත් වෙලා ඉඳියනම් අපි මෙච්චරමට අසරණ වෙනෙනෙ නැහැ රත්තරනේ...දූල‍ගෙ තාත්තා මට හීනෙනුත් ඇවිල්ලා කියන්නෙ මැණික මගෙ සුදුනෝනව හොඳට බලාගන්න කියලයි....”

“මම ඒක දන්නවා අම්මෙ...දානෙට තව කල් තියෙන එකේ අපි හෙට තාත්තවත් මතක් කරලා පිරිකරක් පූජා කරමු....ම්ම්ම්ම්...එහෙම හොඳයිනෙ...?”

“ඒ ගමන්ම බෝධිය ළඟ ඉන්න දුප්පත් මනුස්සයෙක් බලලා ඇඳුම් මොනවා හරිත් දෙමු...තාත්තා වෙනුවෙන් දැන් අපිට කරන්න පුළුවන් ඒහෙම දෙයක් විතරයිනෙ....දැන් හෙට කොහාටද ඒ දරුවා එනවා කිව්වෙ?”

“අපිට පාන්දර 05 වෙනකොට ලෑස්තිවෙලා ඉන්න කිව්වෙ...අපිව ගන්න පාර ළඟට එන්නම් කිව්වා...”
“උදේම කිරිබත් ටිකකුත් හදාගත්ත නම් බුද්ධ පූජාවටත් තියන්න තිබුණා...අනික් කළමණා නම් බෝධිය ළඟින් ගන්න පුළුවන්...”අම්මාත් ඉන්නේ හෙට ගමන ගැන හිත සතුටිනි.

“ඒක හොඳයි...ටිකක් වැඩිපුර හදාගත්ත නම් උදේට කන්නත් අරගෙනම යන්න තිබුණා...”

“මම රෑට කන්න ගැටපොලොස් මාළුවක් හද හද ඉඳියෙ..ඒකත් එක්කම ලුණු මිරිසක් උදේට හදාගත්ත නම් ඒ හොඳටම ඇතිවෙයි...”

දැනුත් කෙල්ලගේ කටට කෙල  උනයි.ගැට පොලොස්,කිරිබත්,ලුණු මිරිස් මේ සිල්ලම කෙල්ල‍ගේ ප්‍රියතම ආහාර ලැයිස්තුවේ ඉහලින්ම සිටී.ගැට පොලොස් මාළුවේ නියම රස දැනෙන්නේ මැටි හට්ටියක මද ගින්නේ පිසූ විටය.එමෙන්ම හෙට උදෑසන වන විට ව්‍යංජනයේ රස නියමෙට මතුවී තිබේ.

“යන්න...යන්න....මූණකට හෝද‍ගෙන එන්න...මම පැෂන් එකක් හදාගෙන එන්නම්....”





ජීවිතයට ආදරෙන්......ඉදිරියටම......


13 February 2013

ජීවිතයට ආදරෙන්...( 02 කොටස )




ලියන මහත්තයා....  දැන් සීසන් එකත් ඉවරයිනේ.අනික හෙට පෝය නිවාඩුත්  එක්ක.ඒක නිසා අද වේලාසනින් ෂොප් එක වහලා ළමයින්ට වේලාසනින් යන්න දෙන්න.නැත්නම් හවස් වෙනකොට බස්වල යන්න අමාරුයි. ඇඩ්වාන්ස්  ගන්න ඕන අය ඉන්නවානම් බලලා දෙන්න.....

හොඳයි පුංචි ‍මහත්තයා....

ලියන මහත්තයා හෙට සිල් ගන්න යනවද?

යන්න තමයි හිතාගෙන නම් ඉන්නෙ.. ඒත් මේ කොන්දෙ කැක්කුමත් එක්ක එක විදිහකට වැඩි වෙලාවක් වාඩිවෙලා ඉන්න බැහැනෙ....

ලියන මහත්තයට මම දැන් කී දවසක් කිව්වද බෙහෙත් ගන්න යමු කියලා.කෝ අහන එකක්ද?

අපි දැන් වයසක මිනිස්සු මහත්තයෝ... තව කී දවසක් නම් ජීවත් වෙයිද කියල දන්නෙ නැහැ.එහෙම එකේ ඔය රට බෙහෙත් ගිලලා තේරුමක් තියෙනවද?මේ ඉන්න ටිකේ පිනක් දහමක් කරගෙන ඉන්නවා මිසක්....

ඉතිං ලියන මහත්තයා පිනක් දහමක් කරගෙන ඉන්නත් ලෙඩක් දුකක් නැතුව ඉන්න ඕනනෙ....

අනේ මන්දා මහත්තයෝ...

ලියන මහත්තයා මේ සල්ලි ටික අරගන්න.හෙට සිල්ගන්න යනකොට ලොකු හාමුදුරුවන්ට පිරිකරකුයි තව මොනවා හරියි අරගෙනම යන්න.මටත් හුඟ දවසකින් ඒ පැත්තෙ යන්න බැරි උනා.....

පිරිකරක් පූජා කරන්න මාත් හරි ආසාවෙන් උන්නෙ... පුංචි මහත්තයගෙ මව් දෙමව්පියන්ටත් පිං අනුමෝදම් කරලම මම පිරිකර පූජා කරන්නම්.....මහත්තයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා......

මගේ ජීවිතේ ගැන ලියන මහත්තයට හංගන්න කියලා දෙයක් නැහැනෙ.මම මේ ගෙන්දගම් පොළවට පය ගහපු දවසෙ ඉඳන් මේ මොහොත වෙනකන් සිද්ධ වුනු හැමදෙයක් ගැනම ලියන මහත්තයා දන්නවනෙ.....මට මේ ලෝකෙ ඥාතියෙක් කියලා කෙනෙක් ඉතුරු වෙලා නැහැ.මට එහෙම කෙනෙක්ටත් ඉන්නෙ ලියන මහත්තයා විතරයි...

මම ඒක නොදන්නවද පුංචි මහත්තයෝ... මම මෙහෙම කිව්වා කියලා අමනාප වෙන්න එපා.. අතීතෙ ගැන පසුතැවි තැවී ඉන්නෙ නැතුව දැන්වත් පුංචි මහත්තයගෙ අනාගතේ ගැන හිතුවොතින් නරකද?

ඒවා කාලයත් එක්කම විසඳිලා යාවි...අනාගතේ ගැන බලාපොරොත්තු ගොඩ ගහගෙන එව්වා බිඳිලා ගියාට පස්සෙ මට ආයෙත් දුක්විඳින්න වෙයි කියලා බයයි...

ඒ උනාට මහත්තයෝ මිනිස්සු වයසට යනවා තේරෙන්නෙ නැහැ...මයෙහිතේ දැන් මහත්තයට 30ත් පැනලා වෙන්න ඇති.එහෙව් එකේ මෙව්වා තවත් පහුකරලා හරියනවද?

බලමුකො බලමුකෝ... පස්සෙ බැරියැ.... ලියන මහත්තයා යමින් ගමන් අර ළමයට මගේ කාමරේට එන්න කියාගෙනම යනවද...

හංසිකා දරුවටද?

ඔව්.. මේ මන්ත් එකේ ෆයිනල් ඕඩර් ලිස්ට් එකත් අරගෙනම එන්න කියන්න....

...............................................................................................................................................................

සර්...

වාඩි වෙන්න හංසි... ෆයිනල් ඕඩර් ලිස්ට් එක ලෑස්තිද?

ඔව් සර්.. කැන්ඩි බ්‍රාන්ච් එකේ ලිස්ට් එක දැන් ටිකකට කලින් ලැබුනෙ.ෆයිනල් එක රෙඩී සර්....

බොහොම හොඳයි.. මොනවද අඩුපාඩු තියෙන්නෙ?

ගොඩාක්ම තියෙන්න ස්කූල් බුක්ස් තමයි සර්.පාස් පේපර් පොත්, වර්ක් බුක් වගේ එව්වා.නවල්ස් ටිකකුත් ඕනා.ස්ටේෂනරීස් නම් ගොඩාක් අඩුයි..

එහෙමද?දැන් මේ ඕඩර් එකෙන් ඒ අඩුපාඩු ඔක්කොම ක්ලියර් කරන්න පුළුවන්නෙ?

පුළුවන් සර්...

ගුඩ්... එහෙමනම් දැන්මම ඔය ටික සංජයට මේල් කරන්න.කොල්ලා මන්ඩේ වෙනකොට ඕඩර් එක රෙඩි කරලා තියයි.හෙට නිවාඩු නොවුනානම් සැටඩේ වෙනකොට ගෙන්න ගන්න තිබුණා...

සර් ඕඩර් ලිසිට් එක චෙක් කරලා බලලම සයින් කරනවද?

මම දන්නව මට තවත් ඕකෙ චෙක් කරලා බලන්න දෙයක් නැහැ කියලා.මම කාවවත් අවිස්වාස කරගෙන වැඩකරන්නෙ නැහැ හංසි.මට මගේ ළඟ ඉන්න හැමදෙනාවම විස්වාසයි.දෙන්න මම සයින් කරලා දෙන්නම්...

මම කිව්වෙ සර්....

හරි...හරි... මම දන්නවා ළමයො ඔයා කිව්වෙ මොකද්ද කියලා.. මම ඒකයි කිව්වෙ මට ආයෙත් මේකෙ චෙක් කරන්න දෙයක් නැහැ කියලා.... ඒක නෙවෙයි හංසි හෙට නිවාඩු දවසනෙ. හංසි මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?

එහෙම විශේෂ දෙයක් කියලා නම් නැහැ...වැඩක් තියෙනවා නම් කියන්න සර්... මම කරලා දෙන්නම්...


මම හිතාගෙන එන්නෙ හෙට කළුතර බ්‍රාන්ච් එකට ගිහිල්ලා එන්න.... ඒ ෂොප් එක ඇතුල සම්පූර්ණයෙන්ම අළුතින් ඩිසයින් කරන්න ඕනා... මේකටත් බුක්ෂොප් එකක් කියන පෙනුමක් ආවෙ හංසිගේ ඇරේන්ජ්මන්ට් නිසා.ඒක නිසා මම කැමතියි ඒ ඩිසයින් ඇරේන්ජ්මන්ට්ස් ටිකත් හංසිටම භාර දෙන්න.හෙට එහෙම උනොත් හංසිට මගෙත් එක්ක කළුතර යන්න එන්න වෙනවා....

පුළුවන් සර්... මම එන්නම්.....

අම්මා කැමති වෙයිද හංසි මගෙත් එක්ක එහෙම ගමනක් යන එකට?

අම්මා අකමැති වෙන එකක් නැහැ සර්...මම මේ රස්සාව කරන්න බැඳිලනෙ ඉන්නෙ සර්....අනික සර්ට අපිව විස්වාසයි වගේම අපිට සර්වත් විස්වාසයි....

අනේ මම එහෙම හිතාගෙන කිව්ව නෙවෙයි කෙල්ලෙ...මේ ෂොප් එකට උනු වෙනසට මම ඇත්තටම ආසයි.ඒකයි මම ඇහුවෙ...

මම කොහෙටද සර් එන්න ඕනා... අම්මයි මායි කළුතර බෝධියට යන්න හරි ආසාවෙන් උන්නෙ.ඒත් අම්මට බස්වල යන්න අමාරු නිසා ගියේ නැහැ.දැන් හෙට මට අඩුම තරමෙ කළුතර බෝධියට පඬුරක් වත් දාන්න අවස්ථාව ලැබෙනවනෙ....

හ්ම්ම්ම්ම්ම්..... එහෙම නම් අපි මෙහෙම කරමු හංසි.අපි ඔයාලගෙ අම්මවත් එක්කගෙනම යමු.අම්මට එතකොට බයවෙන්න දෙයකුත් නැහැනෙ...ඕනිනම් අම්මට කළුතර බෝධිය ළඟදි සිල් අරගෙනම හවසට අපිත් එක්කම එන්න පුළුවන්නෙ. කා එකේ යන නිසා මහන්සියකුත් නැහැනෙ...

කමක් නැද්ද සර් එහෙම එක්කගෙන ආවට.....?මේක අහලා අම්මත් හරි සතුටු වෙයි...

ප්‍රශ්නයක් නැති නිසානෙ දරුවො මම කිව්වෙ එන්න කියලා.මෙහෙන් උදේන්ම පිටත් උනොත් කළුතර බෝධිය ළඟට වෙලාවට යාගන්න පුළුවන් වෙයි.මම 5 විතර වෙනකොට හංසිලගෙ ගෙවල් ළඟට එන්නම්... ලෑස්තිවෙලා ඉන්න....

හොඳයි සර්....




( හංසිකා සදෙව්ණි නම් ඇය විසින් ගත් තීරණය නිවැරදි වෙයිද? එසේත් නැතහොත් එම තීරණය ඇයගේ දෛවෝප ගත තීරණයක් වේද? ඔහු ඇයගේ විශ්වාසය ඒ අයුරින්ම සුරකියිද? මේ සියල්ලම දැන ගන්න නම් පුංචි කොලූ බොහොම අමාරුවෙන් අකුරු එකතු කරලා කුරුටු ගාන " ජීවි‍තයට ආදරෙන් " එක්ක තව දුරටත් එක දිගමට ඉන්න වෙනවා ඕං....තරහා වෙන්නනම් එපා...ඔයාලා මගෙත් ඉන්නවා නේදෝ..... )