දිරිගන්වන්නන්....

19 February 2013

ජීවිතයට ආදරෙන්.....( 03 කොටස )










“අම්මේ.......” හංසි ගෙට ගොඩවූයේ අම්මා පෙනෙන්නට නොසිටි හෙයින් අම්මා කොහේදැයි බැලීමට උස්හඩින් අමතමිනි.

කුස්සියට වී රාත්‍රී ආහාරය සඳහා ගැටපොලොස් මාළුවක් හදමින් සිටි අම්මා සාලයට දුව ආවේ කලබලයෙන් මෙනි.

“ඇයි දුවේ.....”

“නිකං අනේ....මොකද මේ බයවෙලා....”

 “ඒක මිසක්....මම බයවුනු තරමක්...අනික අද වේලාසනින්....ඒකයි මම මේ බයවෙලා දුවගෙන ආවෙ...”
“අනේ අම්මව බය කරන්න නෙවෙයි දෙයියනේ කෑ ගහගෙන ආවේ...ගෙට එනකොට පේන්න හිටිය නැති නිසයිනෙ මම කථා කළේ.....අනේ දැන් සොරි කිව්වනෙ.....කෝ ඉතිං දැන් හිනාවෙන්නකෝ....” හංසි කිව්වේ අම්මවත් බදාගෙනය.

“මොකද අද මේ වෙලා තියෙන්නෙ....”

“මොනවක් වත් නෑ අනේ.....”

“අනේ මන්දා......අද වේලාසනින්.....”අම්මා ඇසුවේ කෙල්ලගේ හිස අතගාන ගමන්ය.

“අද උදේ වැඩට යන්න කම්මැලි හිතුනා...හංදියට ඇවිත් ඉන්න කියලා දුන්නා කොල්ලට කෝල් එකක්...වටයක් ගහලා දවල්ටත් කාලා වේලාසනින් ගෙදර ආවා....දැන් මොකද්ද කියන්නකො බලන්න ප්‍රශ්නෙ...”කෙල්ල අම්මාගෙන් අසන්නේ සිනහ වෙමිනි.

“ඔය කියපු ටික වෙන කාටහරි කිව්වනම් යස අගේට පිළිගනියි...ඒත් රත්තරනේ උඹව අවුරුදු 22ක් තිස්සේ ඇස් දෙක වගේ පිරිස්සම් කරගත්ත මේ අම්මා ඔය දේවලි පිළිගන්නෙ නෑ....මම මගේ රත්තරං ගැන දන්නවනෙ.....”කියා අවසන් වන විට දෑස් අගට කඳුළු බිඳු දෙකක් නැගී තිබුණි.

“අනේ ඇයි අනේ මේ අඬන්නෙ....මම විහිළුවක්නෙ කලේ...මයෙ අම්මව දාලා මේ සුදු දුව කාත් එක්ක කොහේ කියලා යන්නද...මම හැමදාම අම්මගෙ ළඟටම වෙලා මේ විදිහට තුරුළු වෙලාම ඉන්නවා.....”යැයි කියමින් අම්මාගේ ළමැදට තවත් තුරුළු වූවාය.

“ඒත් මයෙ රත්තරනේ කවද හරි දවසක මේ අම්මව තනිකරලා දාලා හොඳ මහත්තයෙක් එක්ක යන්නම වෙනවනෙ....හැමදාම මයෙ තුරුල්ලෙම ඉන්න බැහැනෙ.....”

“හරි හරි දැන් ඉතිං ඔය කථාව නතර කරන්නකො.....එව්වට තව කල් තියෙනවා....අනික මම බඳිනවානම් බඳින්නෙ අම්මවයි මාවයි දෙන්නවම ආදරෙන් බලාගන්න හොඳ මහත්තයෙක්ව...තේරුනාද....?”

“‍‍තේරුනා.. තේරුනා....දැන් යන්න ගිහින් මූණ කට හෝදගෙන එන්න.මම තේ එකක් හදන්නද....? නැත්නම් පැෂන් හදන්නද.....?”

“පැෂන් හොඳයි....හෙට පෝයනෙ.. අනික දැන් සීසන් එකත් ඉවරයිනෙ..ඒක නිසා සර් හැමෝටම අද වේලාසනින් යන්න දුන්නා....ඒකයි වේලාසනින් එන්න පුළුවන් උනේ.....”

“මොනව උනත් මනුස්සකම් දන්න හොඳ දරුවෙක් වෙන්න ඕනා....නැත්නම් බලන්නෙ තමන් යටතේ ඉන්න අයගෙන් පුළුවන් තරම් මරෝ මරෝ වැඩ ගන්නනෙ....”

අම්මා කියන්නේ සම්පූර්ණ ඇත්ත බව කෙල්ල දනී.කෙල්ලට නිතතින්ම දහවල් වූ කථාබහ සිහියට නැගුණි.

“අම්මේ....හෙට කළුතර බෝධි යන්.....”

“යන්න නම් මමත් ආසයි දරුවෝ...කොයි කාලෙක ඉඳන්ද යන්න බලාගෙන ඉන්නේ....එත් මේ අමාරුත් එක්ක යන්න ලැබුනද...නැහැනෙ....කමක් නැහැ... අපි හෙට යමු...මොකෝ එක පාරටම යන්න හිතුනෙ....?”

“අපිට බස්වල යන්න ඕන වෙන්නෙ නැහැනෙ...වාහනේකනෙ යන්නෙ...”කෙල්ල මේ හදන්නේ දහවල් සිදුවූ දේ අම්මාට පැවසීමට වටින් ගොඩින් පාර සකසා ගැනීමටය.කෙල්ලන් එහෙමය.

“අපි කොහෙන්ද දුවේ වාහනේක යන්නෙ...අනික ත්‍රීවීල් එකක ගියත් කී දාහක් නම් ඉල්ලයිද දන්නෙ නැහැනෙ.....”

“දැන් ඒ පාර කව්ද කිව්වෙ ත්‍රී විල් වල යනවා කියලා....”

“කියන එකක් තේරෙන්න කියන්න ළමයෝ...ඇයි වැඩකරන තැන ළමයි ටික වාහනයක් කථා කරගෙන යනවා කිව්වද....?”

“පොඩ්ඩක් ඉන්නකෝ මම කියනකන්...කළුතරත් අළුතින් දාපු අපේ බුක්ෂොප් බ්‍රාන්ච් එකක් තියෙනවනෙ.එක ඇතුල ආයෙත් අළුතින් ඩිසයින් කරනවලු.මේ ‍ෂොප් එකේ ඩිසයින් කෙරුවෙ මමනෙ.ඒක සර්ගෙ හිතට අල්ලලා.ඉතිං මට කිව්වා කළුතර එකේ ඩිසයින් එකත් කරන්න කියලා.ඉතිං ඒකට හෙට සර්ත් එක්ක කළුතර යන්න වෙනවා.සර් කිව්වා අම්මගෙන් අහලා තනියම එන්න බයනම් අම්මවවත් එක්ක ගෙනම එන්න කියලා.ඒකයි....” කෙල්ල හුස්මවත් නොගෙන එක හුස්මටම කියාගෙන ගියාය.ඇය හිත හිතා හිටියේ මෙය අම්මාට කෙසේ පවසනවාද යනුවෙනි.දැන් ඒ බරද නිදහස්ය.

“එහෙම යන්න පුළුවන් නම් මාත් ආසයි....එත් ඒ දරුවා කැමති වෙයිද ඔය වැඩ රාජකාරිවලට ගිහිල්ලා බෝධිත් යන්න....?”

“කැමති නිසා තමයිනෙ අම්මෙ එන්න කියන්න ඇත්තෙ...මාත් ඇහුවා...අම්මා සිල් ගන්න කැමතිනම් ලෑස්ති වෙලාම එන්න කිව්වා..කොහොමත් බුක්ෂොප් එකේ වැඩේට දවසම වගේම ගතවෙනවත් එක්කනෙ....”

“අනේ එහෙමනම් කොච්චර දෙයක්ද?දුව පොඩි කාලෙ අපි තුන්දෙනත් එක්ක පෝය දවසක බෝධියට වෙලා දවසක්ම ගතකරලා ආවා...මතකද?එත් දූලගෙ තාත්තා අපිව තනිකරලා මේ ලෝකෙන් ගියාට පස්සෙ එහෙම ගියෙම නැහැ...”අම්මා කියන්නේ තෙත්ව ගිය දෙනෙතකින් යුතුවය.

“තාත්තා අපිව දාලා ගියේ නැහැ අම්මෙ..එයා තාමත් අපි ළඟම ඉන්නවා....”කෙල්ලගේ ඇස් වලද කඳුළුය.ඇය මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කලේ මේ දෙන්නාටය.එත් ඇය සාමාන්‍ය පෙළ කරන අවධියේදී ඇයවත් අම්මාවත් තනිකර දමා තාත්තා මිය ගියේ හදිසි හෘදයාබාධයකිනි.ඒ සිදුවීම සිදුවී වසර ගණනාවක් ගතවී ඇතත් ඒ දවස් මතකයට නැගෙන්නෙ අද ඊයේ සිදුවූවා වාගේය.

“තාත්තා ජීවත් වෙලා ඉඳියනම් අපි මෙච්චරමට අසරණ වෙනෙනෙ නැහැ රත්තරනේ...දූල‍ගෙ තාත්තා මට හීනෙනුත් ඇවිල්ලා කියන්නෙ මැණික මගෙ සුදුනෝනව හොඳට බලාගන්න කියලයි....”

“මම ඒක දන්නවා අම්මෙ...දානෙට තව කල් තියෙන එකේ අපි හෙට තාත්තවත් මතක් කරලා පිරිකරක් පූජා කරමු....ම්ම්ම්ම්...එහෙම හොඳයිනෙ...?”

“ඒ ගමන්ම බෝධිය ළඟ ඉන්න දුප්පත් මනුස්සයෙක් බලලා ඇඳුම් මොනවා හරිත් දෙමු...තාත්තා වෙනුවෙන් දැන් අපිට කරන්න පුළුවන් ඒහෙම දෙයක් විතරයිනෙ....දැන් හෙට කොහාටද ඒ දරුවා එනවා කිව්වෙ?”

“අපිට පාන්දර 05 වෙනකොට ලෑස්තිවෙලා ඉන්න කිව්වෙ...අපිව ගන්න පාර ළඟට එන්නම් කිව්වා...”
“උදේම කිරිබත් ටිකකුත් හදාගත්ත නම් බුද්ධ පූජාවටත් තියන්න තිබුණා...අනික් කළමණා නම් බෝධිය ළඟින් ගන්න පුළුවන්...”අම්මාත් ඉන්නේ හෙට ගමන ගැන හිත සතුටිනි.

“ඒක හොඳයි...ටිකක් වැඩිපුර හදාගත්ත නම් උදේට කන්නත් අරගෙනම යන්න තිබුණා...”

“මම රෑට කන්න ගැටපොලොස් මාළුවක් හද හද ඉඳියෙ..ඒකත් එක්කම ලුණු මිරිසක් උදේට හදාගත්ත නම් ඒ හොඳටම ඇතිවෙයි...”

දැනුත් කෙල්ලගේ කටට කෙල  උනයි.ගැට පොලොස්,කිරිබත්,ලුණු මිරිස් මේ සිල්ලම කෙල්ල‍ගේ ප්‍රියතම ආහාර ලැයිස්තුවේ ඉහලින්ම සිටී.ගැට පොලොස් මාළුවේ නියම රස දැනෙන්නේ මැටි හට්ටියක මද ගින්නේ පිසූ විටය.එමෙන්ම හෙට උදෑසන වන විට ව්‍යංජනයේ රස නියමෙට මතුවී තිබේ.

“යන්න...යන්න....මූණකට හෝද‍ගෙන එන්න...මම පැෂන් එකක් හදාගෙන එන්නම්....”





ජීවිතයට ආදරෙන්......ඉදිරියටම......


4 comments:

  1. මේ සැරේ නම් කථාවෙ අනිත් කොටස ඉක්මනටම දාල :) කථාව ලස්සනට ඉස්සරහට යනව...බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්.... මේ පාර නම් ඉක්මනටම දැම්මා.. ඇයි ඉතිං පොරොන්දුවක් උනහම ඉෂ්ඨ කරන්නත් ඕනානෙ...චමෝ විතරක් නෙවෙයි මාත් බලන් ඉන්නෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා....

      Delete
  2. එහෙම නං ඉස්සරහටත් පොරොන්දු ඉටුකරපාං.

    ReplyDelete
    Replies
    1. අනිවාර්්‍යයෙන් නලින් අයියේ.....පුළුවන් හැම වෙලාවකම......

      Delete